කොරෝනා නිසා බිහි වෙන නව නිර්මාණ

කොවිඩ් නයින්ටීන් වෛරසය ලොව විවිධ අංශවලට විවිධ අයුරින් බලපෑම් එල්ල කරන අතරතුර නව සොයාගැනීම් හා නිර්මාණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බවට පත්ව තිබේ.

අපේ රටෙත් බොහෝ පිරිසක් එවැනි නව සොයා ගැනීම් හා නව නිර්මාණ හඳුන්වාදීමට යොමුවී ඇති අයුරු දකින්න පුළුවන්.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු සිසුන් නව නිපැයුම් රැසක් එළිදක්වා තිබේ.

මේ ඖෂධ, ආහාර, ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය රෝගීන් වෙත ගෙන යා හැකි, දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කෙරෙන රොබෝ යන්ත්‍රයයි.

මෙහි ඇති කැමරාව මඟින් වෛද්‍යවරයාට රෝගියා අසලට නොගොස් රෝගියා නිරීක්ෂණය කිරීමට හැකියි.

පාරජම්බුල කිරණ මඟින් විෂබීජහරණය කළ හැකි යන්ත්‍රයක්ද නව නිපැයුම් අතර වෙයි.

දැඩි සත්කාර ඒකක තුළ රෝගීන් සිටින අවස්ථාවකදී වුවද එය භාවිත කිරීමට හැකි වීම විශේෂත්වයක්.

ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට කෘතිම ශ්වසනය ලබා දීම සඳහා අඩු පිරිවැයක් යටතේ,නිසි ප්‍රමිතියට අනුව නිපදවූ යන්ත්‍රයයි මේ.

එමෙන්ම CUREC නමින් ජංගම දුරකථන මෘදුකාංග යෙදවුමක්ද නිර්මාණය කර ඇති අතර එමඟින් කොවිඩ් 19 රෝග ලක්ෂණ සහිත ඕනෑම පුද්ගලයෙකුට වෛද්‍යවරයෙකු එසැනින් සම්බන්ධ කර ගනිමින් උපදෙස් ලබා ගැනීමට හැකියි.

වෛද්‍යවරයාට රෝගියාගේ සංචරණයද අධ්‍යනය කළ හැකි වීම විශේෂත්වයක්.

මේ අතර හයිඩ්‍රාමනී ඇඟලුම් නිශ්පාදන ආයතනයේ බංග්ලාදේශ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික කළමනාකරු නිමල් කුමාරසිරි මහතා ඖෂධ, ආහාර, ඇඳුම් ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය රෝගීන් වෙත ගෙන යා හැකි රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ.

මේ අතර රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සහ ඉංජිනේරු පීඨවල සිසුන්ගේ සහායෙන් නිර්මාණය කළ රොබෝ යන්ත්‍රයක්ද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට භාර දුන්නේය.

එම යන්ත්‍රය මඟින්ද රෝගීන් වෙත අවශ්‍ය ද්‍රව්‍ය ලබා දිය හැකි අතර රෝගියා සමඟ දුරස්ථව සම්බන්ධ වී අදහස් හුවමාරු කර ගැනීමට හැකියි.

එමෙන්ම ගාල්ල මහින්ද හා රිච්මන්ඩ් විද්‍යාලවල ආදි සිසුන් විසින් නිර්මාණය කෙරුණු ස්වයංක්‍රීය විෂබීජහරණ කුටියක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණි.

මේ අතර ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයෙන් පුහුණුව ලැබූ දැරණියගල පදිංචි ලක්ෂාන් ලහිරු මානවඩු මහතා සහ ඔහුගේ සොහොයුරා ස්වයංක්‍රීය විෂබීජහරණ කුටියක් නිෂ්පාදනය කර තිබේ.

ඉතාමත් අඩු මුදලකින් නිෂ්පාදනය කර ඇති මෙම විෂබීජහරණ කුටිය දැරණියගල ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කෙරුණි.

Recommended For You

About the Author: Editor